මෙම විද්‍යාලය 1929 දී පෝෂිත පාසලක් ලෙස ආරම්භ විය. බදුල්ල ප්‍රදේශයේ විසූ ප්‍රසිද්ධ දානපතියෙකු වූ දොන් හෙන්රි කොතලාවල ( ඩී.එච්. කොතලාවල) මහතා විසින් තමාගේ ඉඩමක කුඩා ගොඩනැගිල්ලක් සාදා පාසලක් ලෙස ආරම්භ කරන ලදී. විශාල වෙල් යායක මෙම පාසල පිහිටි බැවින්, “වෙලගෙදර විද්‍යාලය” නමින් මෙම පාසල හඳුන්වන ලදී. මේ වන විට බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසල් වූයේ මිෂනාරී පාසල්ය. දැනට “විශාඛා විද්‍යාලය” නමින් හඳුන්වන “උසස් බාලිකා විද්‍යාලය”, “විහාරමහා දේවී” නමින් හඳුන්වන “උර්සුලා විද්‍යාලය”, “ඌව විද්‍යාලය” ආදී පාසල් ප්‍රධාන පාසල් වූ අතර, පුවක්ගොඩමුල්ල, හිඳගොඩ, මයිලගස්තැන්න, ළිඳමුල්ල ගම් ආශ්‍රිතව මෙතෝදිස්ත පාසල් ආරම්භ වී තිබිණ. විශේෂයෙන් මිෂනාරී පාසල්වල ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් කටයුතු සිදු කළ අතර, මෙම පාසල්වලට යා හැකි වූයේ ප්‍රභූ පවුල්වල ළමුන්ට පමණි. ඒ වන විට බෞද්ධ විද්‍යාලයක් වූ “ධර්මදූත විද්‍යාලය”ටද ඇතුළත් කරගෙන ඇත්තේ ප්‍රභූ පවුල්වල බෞද්ධ දරුවන් පමණි. මේ නිසා සාමාන්‍ය පවුල්වල සිංහල බෞද්ධ දරුවන්ට අකුරු කරවීමට පාසලක් නොවීය. එහි රික්තය පිරවීම මෙම විද්‍යාලය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය විය.
පෝෂිත පාසලක් ලෙස ආරම්භ කළ මෙම විද්‍යාලය ඩී.එච්. කොතලාවල මහතා විසින් රජයට භාර දෙන ලදී. “වෙලගෙදර පාසල” නමින් ආරම්භ කළ මෙම විද්‍යාලය රජයේ වියදමින් දැනට කලා අංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල 1934.01.01 දින සාදවා එහි මුල් ගුරුවරයා ලෙස ඒ.ඩී.ජේ.විජේසේකර මහතා පත් කරන ලදී. එතැන් පටන් බදුල්ල සිංහල මිශ්‍ර පාඨශාලාව වශයෙන් රජයේ ලියාපදිංචි විය.
විශේෂයෙන්ම මුලදී මෙම පාසලට මධ්‍යම පන්තියේ හා උසස් ප්‍රභූ පවුල්වල ළමුන් ඇතුළත් නොකරන ලදී. ගම්වල දුගී පවුල්වල හා මුඩුක්කුවල පදිංචිකරුවන්ගේ ළමුන් ඌව, ධර්මදූත, සෙන්ට් බීඩ්, ගර්ල්ස් හයිස්කූල් වැනි උසස් පාසල්වලට ඇතුළත් කිරීමට නොහැකි වූ බැවින්, මෙම පාසලට ඇතුළත් කරන ලදී. ඒ නිසා මෙම පාසලේ මුල් කාල පරිච්ඡේදවල සේවය කළ ගුරුවරුන් ද මානසික වශයෙන් පහත් තත්ත්වයට ඉබේම පත් විය.
මෙම පාසලේ පළමු මුල් ගුරුවරයා වශයෙන් ඒ.ඩී.ජේ. විජේසේකර මහතා පත් විය. මුළු ගුරු මණ්ඩලය පහක් (05) විය. හය වන ගුරුවරයා වශයෙන් ඊ.ඩී.එම්. ධනසේන මහතා 1945.05.01 දින පත් විය. වෙලගෙදර විද්‍යාලය මෙසේ පැවතියදීම 1950 දී පමණ වෙලගෙදර විද්‍යාලයට යාබදවම දෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විත “සීනියර් ස්කූල්” නමින් පාසලක් ආරම්භ කරන ලදී. එහි විදුහල්පතිවරයා වූයේ එන්.ඊ.පෙරේරා මහතාය. 1950-51 කාලය තුළ මෙම විදුහල්වල විදුහල්පතිවරු දෙදෙනා අතර ආරවුලක් ඇති වූ නිසා, 1951 දී ජේ.ඒ. මුණසිංහ මහතා ජ්‍යෙෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් පත් කර එවන ලදී. වසරක් ඇතුළත සිංහල මිශ්‍ර පාඨශාලාවේ මුල් ගුරු ඒ.ඩී.ජේ. විජේසේකර මහතා වැවේගම විද්‍යාලයට මාරු කර, පාසල් දෙකම එක පාලනයකට ගෙන ජේ.ඒ. මුණසිංහ මහතා විදුහලපති වශයෙන් වැඩ ආරම්භ කරන ලදී.
ඔහුගේ පාලන කාලයේදී ප්‍රාථමික අංශය භාරකරු වශයෙන් ඊ.ඩී.එම්. ධනසේන මහතා පත් කරන ලදී. තව ද ඔහුම එම විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්යවරයා වශයෙන් වැඩ භාර ගෙන පළමු බාලදක්ෂ කණ්ඩායම ද ආරම්භ කරන ලදී.
ජේ.ඒ. මුණසිංහ මහතාගේ කාලයේ පාසල උසස් පාසලක මට්ටමට පත් විය. විද්‍යාලයේ විවිධ සමිති සමාගම් ආරම්භ කර ළමුන්ගේ විවිධ හැකියාවන් වර්ධනය කිරීමට පියවර ගන්නා ලදී. විද්‍යාලයේ ගුරු දෙගුරු සමිතිය ආරම්භ කරන ලද්දේ ද මේ කාලයේදීය. 1951 සිට 1963 දක්වා ම ගුරු දෙගුරු සමිතියේ ලේකම් වශයෙන් කටයුතු කළේ ඊ.ඩී.එම්. ධනසේන මහතාය. 1956 දී වෙලගෙදර විද්‍යාලය “බදුල්ල මහ විද්‍යාලය” බවට පත් විය.
1956දී කලා අංශයෙන් උසස් පෙළට පෙනී සිටි කුසුමා සතරසිංහ ශිෂ්‍යාවට පාසලෙන් විශ්ව විද්‍යාලයට තේරී පත් වූ පළමු ශිෂ්‍යාව වීමේ ගෞරවය හිමි වේ. ඉන් පසු 1962දී විද්‍යා අංශය හා වාණිජ අංශය ආරම්භ වූ අතර, මෙම අංශ තුනෙන් ම විශ්ව විද්‍යාලයට විශාල ළමුන් ප්‍රමාණයක් ඇතුළත්ව ඇත.
යටත් විජිත යුගයේ මිෂනාරී පාසලක් වශයෙන් අරම්භ වූ “සෙන්ට් බීඩ් පාසල” මුලින් පිහිටුවා තිබුණේ දැනට බදුල්ල රෝහල ඉදිරිපිට පිහිටා ඇති “උස්කොඩ්” ආයතනය තුළයි. නමුත් ළමුන් ප්‍රමාණය වැඩි වීමත් සමඟ එම විද්‍යාලය දැනට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ කණිෂ්ට ද්වීතියික අංශය පිහිටා ඇති ස්ථානය වෙත ගෙන එන ලදී. එහි සිසුන්ට නේවාසික පහසුකම් සහිතව ඉගෙනීමේ කටයුතුවල නිරත වීමට අවශ්‍ය ඉඩකඩ සැලසුනි. 1961 දී පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමේ ප්‍රතිපත්තිය මත මෙම පාසල ද රජයට පවරාගෙන වෙලගෙදර විද්‍යාලය සමඟ ඒකාබද්ධ කරන ලදී. ඉන් පසු මෙම විද්‍යාල දෙකම හඳුන්වන ලද්දේ “බදුල්ල මහා විද්‍යාලය” වශයෙනි.
1980 දශකයේ මැද භාගය පමණ වන විට මෙම පාසල “මධ්‍ය මහා විද්‍යාලයක් ” බවට පත් විය. 1993.10.01 දින සිට ජාතික පාසලක් ලෙස ප්‍රකාශයට පත් කොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඝෟජු පාලනයට යටත් කර ගන්නා ලදී. මේ වන විට එනම්, 1993 පමණ වන විට ළමුන් දෙදහස් දෙසිය පණහක් (2250) පමණ ඉගෙනුම ලැබූ අතර, විද්‍යා, කලා, වාණිජ, ගණිත හා කණිෂ්ඨ ද්වීතියික අංශය වශයෙන් අංශ පහකින්(05) සමන්විත විය.
2013 වර්ෂයේදී පාසල් ඉතිහාසයේ අලුත් පියවරක් ඉදිරියට තබමින් තාක්ෂණවේදය පාඨමාලාව හඳුන්වා දෙන ලදී. මේ යටතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය හා තාක්ෂණික විද්‍යා පීඨය පිහිට වූ අතර, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය ද්වීතියික පාසලක් ලෙස උසස් කරන ලදී.